Menu

IPL මුදල් අතහැර වසර දෙකක තහනමක් ලැබූ නායකයා ඉගැන්වූ මතක තියෙන පාඩම මෙන්න.

144

රටේ නායකත්වය භාරගත් පසු තම මව්බිමේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කෝටි ගණනක IPL මුදල් කන්දරාවක් එකහෙළා ප්‍රතික්ෂේප කළ තරුණ ක්‍රීඩකයෙකු අද ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ දැඩි අවධානයක් දිනාගෙන තිබේ.

එදා තම රට වෙනුවෙන් ගත් නිර්භීත තීරණය හේතුවෙන් ඔහුට වසර දෙකක IPL තහනමකට මුහුණ දීමට සිදුවිය. එහෙත් තමන් ගත් එම තීරණය කෙතරම් නිවැරදිද යන්න අද ලෝක ශූර ඉන්දීය කණ්ඩායමට එරෙහිව මැනවින් ඔප්පු කර පෙන්වීමට එංගලන්ත නායක හැරී බෲක් සාර්ථක වී ඇත.

සිය නායකත්වය යටතේ කිසිදු ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලියක් පරාජයට පත්වී නොමැති බෲක්, ලෝක ශූර ඉන්දියාව තම මව්බිමට ගෙන්වාගෙන අමිහිරිම පරාජයක් මෙන්ම අමතක නොවන පාඩමක් අත්කර දුන්නේය.

නායකයෙකු ලෙස පමණක් නොව ප්‍රබලතම පිතිකරුවෙකු ලෙසද ඔහු වගකීම අකුරටම ඉටු කළේය. පසුගිය තරගයේදී පන්දු 35කින් නොදැවී ලකුණු 79ක් රැස්කරමින් එංගලන්තයට ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර දුන් ඔහු, මෙම තරගයේදී ජොස් බට්ලර් සමග එක්ව වාර්තාගත ලකුණු 233ක අතිදැවැන්ත සබඳතාවක් ගොඩනැගීමට දායක විය. කිසිදු ඉන්දීය IPL වීරයෙකුට තම කඩුල්ල ලබාගැනීමට අවස්ථාවක් නොදුන් බෲක්, පන්දු 45කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 91ක් රැස් කිරීමට සමත් විය.

එම ඉනිම හතරේ පහරවල් 4කින් සහ හයේ පහරවල් 8කින් වර්ණවත් වූ අතර ප්‍රහාරාත්මක වේගය 211.11ක් තරම් ඉහළ අගයක් ගත්තේය. මෙහිදී ඔහු පන්දු 19කින් අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර එය එංගලන්ත නායකයෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයයි.

එදා ඔයින් මෝර්ගන් හඳුන්වා දුන් නිර්භීත ක්‍රිකට් සංස්කෘතිය අද හැරී බෲක් ඉතා සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටියි. තරගාවලිය පුරා විශිෂ්ට දස්කම් දැක්වූ ඔහු 114.50ක ඉහළ සාමාන්‍යයක් සහ 214.02ක ප්‍රහාරාත්මක වේගයක් සහිතව ලකුණු 229ක් රැස් කළේය. ටෙස්ට් පිටියේ ලකුණු 50කට වැඩි සාමාන්‍යයක් රඳවාගෙන සිටින එක්දින පිතිකරුවෙකුද වන බෲක්, මේ වනවිට විස්සයි විස්ස පිටියේද භයානකම පිතිකරුවෙකි.

ඕනෑම තරග ආකෘතියකට ගැලපෙන මෙවැනි ක්‍රීඩකයින් අතිශය විරල වන අතර, ඔහු එංගලන්ත ක්‍රිකට් අනාගතය ආලෝකමත් කරන සැබෑ වීරයෙකි. මේ සියලු දක්ෂතා මධ්‍යයේ තම රට ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම බවට පත් කිරීමට හැරී බෲක්ගේ අතිවිශිෂ්ට ඉනිම ඉවහල් විය.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *