Menu

පරම්පරා තුනක බලාපොරොත්තුවක් මල්පල දරයි! සුලෝහිත සංග්‍රාමයේ ජයග්‍රාහී කුසලානය දශක හතකට පසු ඔසවයි.(වීඩියෝ දර්ශන සහිතයි )

125

මහනුවර වැසියන් පමණක් නොව මෙරට ක්‍රිකට් ප්‍රජාවම මහත් උනන්දුවෙන් බලා සිටි 119 වන “සුලෝහිත සංග්‍රාමය” නිමාව දුටුවේ කිසිවෙකුත් නොවූ විරූ අයුරින් ඉතිහාසය අලුත් කරමිනි.

දශක හයකට අධික කාලයක් පුරා, එනම් වසර 68ක් තිස්සේ කිංග්ස්වුඩ් විද්‍යාලය මහත් බලාපොරොත්තුවෙන් සිටි එම අභිමානවත් මහා ක්‍රිකට් ජයග්‍රහණය අද සැබෑවක් බවට පත් වූයේ අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ධර්මරාජ විද්‍යාලය ලකුණු 148කින් පරාජයට පත් කරමිනි.

තරඟය පුරාවටම තමන්ගේ ආධිපත්‍යය පවත්වා ගැනීමට සමත් වූ කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ, ලකුණු 226ක පළමු ඉනිමකින් අනතුරුව ධර්මරාජ ක්‍රීඩකයින් ලකුණු 160කට සීමා කරමින් ජයග්‍රහණයේ මාවත විවර කර ගත්හ.

දෙවන ඉනිමේදී අතිශය ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ ඔවුන් කඩුලු 4කට ලකුණු 248ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවමින් ප්‍රතිවාදීන්ට ලබා දුන් ලකුණු 315ක දැවැන්ත ඉලක්කය, වසර ගණනාවක ජයග්‍රාහී පිපාසය නිවා ගැනීමට ඔවුන් තුළ තිබූ දැඩි උනන්දුව මනාව පැහැදිලි කළේය.

තීරණාත්මක දෙවන ඉනිමේදී ලකුණු 166කට සීමා වූ ධර්මරාජ ක්‍රීඩකයින්ට සිය අස්ගිරිය බලකොටුව රැක ගැනීමට නොහැකි වූ අතර, ඒ සමඟම මුළු මහනුවර නගරයම රතු සහ සුදු වර්ණයෙන් හැඩවෙමින් කිංග්ස්වුඩ් අභිමානය අහස උසට නැංවුණි.

මෙය හුදෙක් ක්‍රිකට් ජයග්‍රහණයක් පමණක් නොව, පරම්පරා කිහිපයක් පුරා බලා සිටි කිංග්ස්වුඩ් ආදි සිසුන්ගේ මෙන්ම වත්මන් සිසුන්ගේද දෑස් වලට සතුටු කඳුළු ගෙන ආ ඓතිහාසික මොහොතක් ලෙස වාර්තා වේ.


වීඩියෝ දර්ශන : https://www.facebook.com/reel/1732831697680621/?mibextid=9drbnH&s=yWDuG2&fs=e

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *