Menu

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හෙට ඓතිහාසික දවසක්! රහීම් ගේ සිහිනට සැබෑ වෙයි.

98

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වංශකථාවේ අතිශය තීරණාත්මක මෙන්ම ඓතිහාසික මතකයන් රැසක් නැවත අවදි කරමින්, බංග්ලාදේශ කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරයේ පළමු තරගය අද ආරම්භ වීමට නියමිතයි.

උතුරු ඕස්ට්‍රේලියාවේ අගනගරය මෙන්ම විශාලම නගරය වන ඩාවින්හි Marrara ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය, සමස්ත ලෝක ක්‍රිකට් ප්‍රජාවගේම දැඩි අවධානයට ලක්ව තිබෙනවා. මන්දයත් මෙය වසර 23ක දීර්ඝ කාලයකට පසුව බංග්ලාදේශ කණ්ඩායමක් ඕස්ට්‍රේලියානු භූමිය තුළදී ටෙස්ට් තරගයකට මුහුණ දෙන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එකතු වන නිසයි.

මීට පෙර අවසන් වරට 2003 වසරේදී බංග්ලාදේශය ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කළ අතර, තරග 2කින් සමන්විත වූ එම තරගාවලියේ පළමු තරගය පවත්වා ඇත්තේද ඩාවින්හි මෙම Marrara ක්‍රීඩාංගණයේදීම වීම විශේෂත්වයක්.

එදා ඛලීඩ් මහමුද්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ කණ්ඩායම එම තරගය ඇතුළුව සමස්ත තරගාවලියම ඉනිමකින් පරාජයට පත් වූ අතර, මොහොමඩ් අෂ්රාෆුල්, හබිබුල් බෂාර් සහ මෂ්රාෆි මොර්ටාසා වැනි ක්‍රීඩකයින් රැසක් ඊට ඇතුළත්ව සිටියා. එදින ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු පිල නියෝජනය කරමින් ස්ටීව් වෝගේ නායකත්වය යටතේ රිකී පොන්ටින්, මැතිව් හේඩ්න්, ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ බ්‍රෙට් ලී වැනි ලෝක පූජිත ක්‍රීඩකයින් රැසක් පිටියට පිවිසියා.

වත්මන් බංග්ලාදේශ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන 39 හැවිරිදි මුෂ්ෆිකර් රහීම් 2003 වසරේ පැවැති අදාළ සංචිතයට ඇතුළත්ව නොසිටි අතර,

එවකට ඔහු වයස අවුරුදු 16ක පාසල් ක්‍රීඩකයෙකු ලෙස පසුවුණා. ඉන් අනතුරුව වසර අවුරුදු 18ක යෞවනයෙකු ලෙස 2005 වසරේදී ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ රහීම්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ වසර 21කට අධික දීර්ඝ කාලයක් නිරතව සිටියද, ඕස්ට්‍රේලියානු භූමියේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට ඔහුට මෙතෙක් කිසිදු අවස්ථාවක් හිමිව තිබුණේ නැහැ.

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් මුළුමනින්ම විශ්‍රාම ගැනීමට පෙර ඕස්ට්‍රේලියාව තුළ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමේ දැඩි ආශාවක් පවතින බව රහීම් පසුගියදා මාධ්‍ය හමුවේද සඳහන් කළා.

2006 සහ 2020 කාලය තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවස්ථා 3කදී බංග්ලාදේශයේ සංචාරය කළද, බංග්ලාදේශයට ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ලැබුණේ නැහැ. ඒ අනුව 39 හැවිරිදි මුෂ්ෆිකර් රහීම් සිය දීර්ඝ ක්‍රිකට් දිවියේ සිහිනය සැබෑ කරගනිමින් අද ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු පසෙහි ටෙස්ට් තරගයකට පිවිසීමට නියමිතයි.


නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *