Menu

ආසියා කුසලාන ඉතිහාසයේ ලකුණු 500 සීමාව පසුකළ පළමු ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන් බිහිවෙයි.

93

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය සුවිශේෂී දස්කම් අඛණ්ඩව පවත්වා ගනිමින් සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කඩුලු 9ක දැවැන්ත හා පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.

එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සත්කාරක එමීර් කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ රැස්කරගත හැකි වූයේ ලකුණු 79ක් පමණි.

එහිදී අතිශයින්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ යොවුන් වේග පන්දු යවන්නියක වන මිතාලි අයෝධ්‍යා සහ සිය මංගල විස්සයි-20 වරම් දිනාගත් චේතනා විමුක්ති ප්‍රතිවාදී පිතිකරණ පෙළ සුනුවිසුනු කරමින් ලකුණු අටකට හා දහයකට කඩුලු 3 බැගින් දවාගනිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට දැවැන්ත ශක්තියක් ලබා දුන්හ. ලකුණු 80ක ඉතා පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනී ඉමේෂා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට උත්සාහ කළද,

ඇය අතිශයින්ම අවාසනාවන්ත ලෙස දැවී යාමට සිදු විය. ඒ, නායිකා චමරි අතපත්තු විසින් එල්ල කරන ලද ප්‍රබල පහරක් පන්දු යැවූ ඊෂාගේ අතේ වැදී ගොස් කඩුල්ලේ ගැටීම හේතුවෙන් නොස්ට්‍රයික් අන්තයේ සිටි ඉමේෂාට දුවද්දී දැවී යාමකට හසුවී පිටියෙන් ඉවත් වීමට සිදුවීම නිසාය.

කෙසේ වෙතත්, කණ්ඩායමේ වගකීම කරටගත් අත්දැකීම් බහුල නායිකා චමරි අතපත්තු පන්දු වාර කිහිපයක් තුළ ලකුණු 48ක් නොදැවී රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරා රැගෙන ගියාය. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය පුරාම ඉතා විශිෂ්ට ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කරමින් සිටින අතර, ඔවුන්ගේ මෙම සාර්ථකත්වය ඉදිරි තරග සඳහාද මහත් රුකුලක් වනු ඇත. මෙම ඉනිම සමඟින් ඇය ආසියා කුසලාන කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 500 සීමාව පසුකළ ප්‍රථම ක්‍රීඩිකාව ලෙස අමරණීය වාර්තාපොතට පිවිසීමට සමත් වීම සමස්ත රටම ආඩම්බරයට පත් කළ සුවිශේෂී සිදුවීමක් විය.

මේ වන විට ජයග්‍රහණයේ මාවතට පිවිස සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ අභියෝගය වන්නේ සැප්තැම්බර් 2 වන දින ඉන්දුනීසියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයයි. ඉන් අනතුරුව සැප්තැම්බර් 6 වන දින බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයද ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන්ට ප්‍රබල පාකිස්තාන කණ්ඩායම හමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම බාධකයද ජයගෙන ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින් ශූරතාවලිය තමන් සතු කරගැනීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ එකම අරමුණ වී තිබේ.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *