එංගලන්ත පාපන්දු කණ්ඩායම ඉතිහාසයේ ලබාගත් අවමන් සහගතම පරාජය ලබන්න අද තවත් විනාඩි 15 ක කාලයක් විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඒ ලෝක කුසලාන අවසන් 32 වටයේ කොංගෝ ජනරජයත් එක්ක සමග.
කොංගෝව 7 වන විනාඩියේදී ලබාගත්ත ගෝලය පසුපස හඹා ගිය එංගලන්තය කුමන අවස්ථාවකවත් ගෝලය ලබා ගන්නට සමත් වුණේ නෑ.
ඔවුන් අවස්ථා ගණනාවකදීම ආසන්නයට පැමිණියා. නමුත් කොංගෝ දැල් රකින්නා සහ ආරක්ෂක වළල්ලේ ක්‍රීඩා රටාවත් සමග එංගලන්තයට එම ගෝලය වාර්තා කිරීම කිසිම ආකාරයකින් පහසු වී තිබුණේ නෑ.
එංගලන්ත කඳවුර පමණක් නෙමෙයි එංගලන්ත ප්‍රේක්ෂකයන් පවා සිටියේ සෑහෙන කලබලයට පත් වෙලා. බලාපොරොත්තු වන ගෝලය නොලැබුණහොත් තමන් ඉතිහාසයේ අවමන් සහගතම සිදුවීමට මුහුණ දෙන බවට එංගලන්තය දැනගෙන හිටියා.
නමුත් නැවත වතාවක් එංගලන්තයේ ගැලවුම්කරුවා වෙන්නේ නායක හැරී කේන්.
ඔහු එංගලන්තය වෙනුවෙන් මෑත කාලීනයේ ගැලවුම්කරුවා වුණ මොහොතවල් ගණන සුළු පටු නෑ. 75 වන විනාඩියේදී හැරී කේන් ලබාගන්න ගෝලයත් එක්ක තරගය 1-1 ක් විදිහට සම වුණා. ඔහු එතනින් නතර වෙන්නේත් නෑ.
තරගයේ නියමිත කාලය අවසන් වෙන්න විනාඩි 4 ක් තියෙද්දී ඒ කියන්නේ 86 වන විනාඩියේදී හැරී කේන් විශිෂ්ට පහරක් එල්ල කරමින් එංගලන්තයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. මෙම ගෝලය පසුපස හඹා යමින් තරගය සම කිරීමට තරම් හැකියාවක් කොංගෝ ජනරජයේ ක්‍රීඩකයන්ට හිමි වුණේ නෑ.
එංගලන්තය ඉතිහාසයේ වන්නට ගිය මහා අපහාසයකින්, මහා නින්දාවකින් බේරුණේ හැරී කේන් ලබා ගත්ත ගෝල දෙකත් එක්ක.
ඒත් සමගින් ඔවුන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා. එහිදී එංගලන්තය සත්කාරක මෙක්සිකෝවත් එක්ක තීරණාත්මක අවසන් 16 වටයේදී ක්‍රීඩා කරන්නට සූදානමින් ඉන්නවා.
හැරී කේන් මේ වෙද්දී 2026 පාපන්දු ලෝක කුසලානයේදී ලබාගෙන ඉන්න ගෝල සංඛ්‍යාව 5 ක්. ඔහු දැනට මෙවර පාපන්දු ලෝක කුසලානයේ සම තෙවැනි වැඩිම ගෝල ලාභියා වනවා. ඒ වගේම හැරී කේන් ලබාගත් 13 වන පාපන්දු ලෝක කුසලාන ගෝලයත් මෙය වනවා.
එංගලන්තය වෙනුවෙන් වැඩිම පාපන්දු ලෝක කුසලාන ගෝල ලැබූ ක්‍රීඩකයා වාර්තාවද හැරී කේන්ගේ නමට ලියැවී අවසානයි.
අද කොංගෝවත් සමග පැවති තරගය සම්පූර්ණයෙන්ම හැරී කේන්ට වෙන් වූ රාත්‍රියක්. කොංගෝ ජනරජය එංගලන්තයට වඩා අද තරගයේදී පරාජය වුණේ හැරී කේන්ට. ඒක අනිවාර්යයෙන්ම ඔහුගේ රාත්‍රිය කියන එකේ කිසිම වැරැද්දක් නෑ.

යුද ගිනි මැද ඉරාක පාපන්දු කණ්ඩායම මෙක්සිකෝවට